Tuesday, April 24, 2012

සිංහල බ්ලොග්කරුවකුගේ ගමන හා ඕපාදූප

සැහෙන දවසකින් ලියන්න උණේ නෑ .... නිවාඩුව නිවාඩුවේ හිටපු නිසා. ඒත් සඳරු ඇවිත් ලියන්න දෙයක් නැද්ද කියල අහලා තිබුණ හින්දයි, අර ජනාධිපති ලේකම් හම්බවෙන්න ගියා කියන පොස්ට් එක වගේම ඒකේ ප්‍රතිචාර දැක්කම මට හිතුණා, ලියන්න හිතන් හිටිය එක පැත්තක දාලා ඒ ගැනම ටිකක් ලියන්න. ඒක කඩේ යාමක් ලෙස දකින කෙනෙක් හිටියොත් දැම්මම කියන්නේ .. එහෙම නොවන වගයි.

සඳරු ගැන නොකියම කතාව පටන්ගත්තොත් අඩුවක් වෙන හින්දා කෙටියෙන් කියලම ඉමුකො. මීට 
අවුරුදු තුනකට විතර කලින් ඩයල් එකක් අම්පාරේ අයි. ටී. පන්තියකට ගිහින් පස්සේ  ඒකේම ඉගැන්වීම පටන්ගන්නවා. ඊට ටික කාලෙකට පස්සේ තමන්ගේ අත්දැකීම්, අදහස්, ගමේ කතා ආදිය ලියනවා හිස් අහස කියලා බ්ලොග් එකක. කතා ලියන විදිහත් ඒවායේ රසයත් නිසාම හිස්අහස සෑහෙනට ජනප්‍රිය වෙනවා. හිස් අහස හිස් උනු හැටි කියන පොස්ට් එක තමයි ඒකෙ තියන හැගීම්බරම පොස්ට් එක. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින්ම බලන්න ඇයි ඒ කියලා.මේ අතරේ ලක්බිම පත්තරෙත් ඔහුගේ ලිපි උපුටලා දැම්මා, පස්සේ චානුක මහත්තයා ලියපු ආටිකල් එකක් නිසා නොදන්න ගොඩ දෙනෙක් සඳරු ගැන දැනගත්තා, ඒ වගේම පත්තරේට ලියන්න චෑන්ස් එකකුත් ලැබුණා. ඇයි එතකොට අර හොඳම බ්ලොග් අඩවිය 2011 සම්මානේ ඇතුළු සම්මාන දෙකක්ම ලැබුණේ.

මේ ළඟදි චානුක මහත්තයා හරහා ජනාධිපති ලේකම්තුමා හම්බවෙන්න ලැබුණු ආරාධනය නේ අලුත්ම දේ. ඒ හමුවේ කතා උණ දේවල් වලින් පේපෑල් ප්‍රශ්නය වගේම තොරතුරු තාක්ෂණ දැනුම ව්‍යාප්ත කිරීම වගේ දේවල් නම් වටිනවා මොකක් හරි වැදගත් යමක්කළොත්. ඒ වගේම සඳරුලාගේ පැත්තේ තොරතුරු තාක්ෂණ නැඹුරුව වැඩි උණොත් හොදයි. ඒ හමුව ගැන ඌ දාපු පොස්ට් එකෙන් පස්සේ විවිධ අදහස් පල උණානේ. සමහර ඒවා නම් ඉතින් සතුට පළකරන්න, සමහර ඒවායේ හමුවේ අඩුපාඩු මෙන්ම වෙනත් චෝදනාද තිබුණා.

සිංහල බ්ලොග්කරුවෙකුට එහෙම යන්න ලැබුණ එක අනිත් අයටත් එක්ක හොඳ ප්‍රවේශයක් හැටියටයි මම දකින්නේ. සමහරු නම් ලලිත් වීරතුංග මහතාට කඩේ යාමක් විදිහට දැකලා තිබුණා. ඒ ගැන නම් කියන්න කල් වැඩියි තාම. නමුත් මේ හමුව තුළින් යහපත් යමක් බලාපොරොත්තු වෙමු. සඳරු වගේම ඔතනට යායුතු තව දක්ෂතා තියන අය ඉන්නවා සිංහල බ්ලොග් ලියන, ඒ අයගේත් අදහස් ගැනීමට ක්‍රමයක්‌ සෑදෙයි ද අපි බලමු. බ්ලොග් කිහිපයක මේ හමුව ගැන විකාර අදහස් දක්වා තිබුණත් ගත හැකි දෙයක් නම් තිබුණේ නෑ, අඩුපාඩු හෙව්වා ඇරෙන්න. අතින් ආහාර ගැනීම හා ගැමිකම මදිකමක් ලෙස දැකපු අයත් සඳරුගේ පොස්ට් එකට කමෙන්ට් කරලා තිබ්බා. ඒවායින් ඉස්මතු වන්නේ හැමදෙයක්ම වැරදියට දකින ගොන් රැලකුත් අපේ රටේ සිටිනා බවයි.


සඳරුවාට මෙන්ම අනිත් අයටත් සුභ පතන ගමන්ම මේ හරහා කාටවත් කඩේ යාමක් නොව සැබෑ ලෙසම රටට වැදගත් යමක් වෙනු දැකීම මගේ පැතුමයි.


Tuesday, March 27, 2012

ලෝක තෙල් මිල හා අපේ ආර්ථිකය




මේ දවස්වල හැමතැනම කතාවෙන මාතෘකාවක්‌ නේ මේ තෙල් මිල, මටත් හිතුණා ඒ ගැන මගේ අදහස් ටිකක් ලියන්න. මොකද මේ සැරේ තෙල් මිල වැඩිවුණේ රටේ සාමාන්‍ය ජනතාව කබලෙනුත් ලිපට දාගෙනනේ.එක පාරටම මෙච්චර ලොකු ගානකින් ඩීසල් වැඩි උණාම (ලීටරයක්‌ රුපියල් 31/= කින් ම) තව කොච්චර දේවල් වල මිල වැඩි උනාද, තව මොනවා වැඩිවෙයිද....මොකද මේ තෙල්වල මිල ඔච්චර වැඩිවුණේ කියලා මාත් ටිකක්හෙව්වා බලන්න. හැබැයි ඉතින් මේකේ තියන ඔක්කොම  100% ක්ම හරි කියලා කියන්නේ නෑ මම. 

ඇත්තටම ලෝකේ තෙල් මිල වැඩිවුණාද කෙටියෙන් ඇහුවොත්... ? උත්තරේ ඔව්.  හැබැයි කොච්චරක්ද ඇහුවොත් ඒක සාපේක්ෂව 7%-8% වගේ ගාණක්. හරියටම කියනවා නම් ඩොලර් සීයට ආසන්නව තිබ්බ බොර තෙල් බැරල් එක එකසිය හතක් වගේ වෙලා දැන්. අපි අමතක නොකළ යුතු දෙයක් තමයි ගිය වර්ෂයේ මාර්තු වෙන කොටත් තෙල් මිල ඩොලර් සීය වගේ තිබුණේ. ඒක කොහොම උණත් මෙච්චර ලොකු ගානකින් ඩීසල් වැඩිවුණේ ඇයි කියලා ඔබට ප්‍රශ්නයක් නේද...


ඒ ගැන සොයා බැලීමේදී මට පෙනුණු දෙයක් තමයි ආණ්ඩුවේ වෙනත් වියදම් පියවා ගැනීමත් මේ මිල වැඩිකිරීමෙන් බලාපොරොත්තු වෙනවා කියන එක. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියන්නේ ආණ්ඩුව මුහුණ දෙන මූල්‍ය අර්බුදය. සංවර්ධනය සඳහා වෙන්කරන මුදලින් 10% -20% අතර ප්‍රමාණයක් අපතේ යාම මේකට ප්‍රධාන හේතුවක්. අපතේ යනවා කිව්වට මේක වෙන්නේ ක්‍රම කීපයකටයි; අල්ලස් හා දූෂණ, අනවශ්‍ය උත්සව, අකාර්යක්ෂමතාව, නියමිත කාලයට ව්‍යාපෘති නිම නොකිරීම මේ අතුරින් ප්‍රධාන කාරණායි. එහෙම කියලා සංවර්ධන ව්‍යාපෘති නවත්තන්න ඕන කියලා කව්රු හරි කියනවා නම් ඒ අයගේ මොළේ පරීක්ෂා කරගැනීම අවශ්‍ය දෙයක්. 

සීමාවකින් තොරව අවශ්‍ය දේට මෙන්ම අනවශ්‍ය දේ සදහාත් විදේශ ණය ගැනීමත් මෙලෙස ආර්ථික වශයෙන් අපේ රට අවපාතයකට ලක්වීමට හේතුවක්. ඒ වගේම තමයි ආනයනය කරනු ලබන අධි සුඛෝපභෝගී හා අනවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය ඉහළ යාමත් අපේ අපනයනයන් දිනින් දින පහළ යාමත් ආර්ථිකයට ලොකු බලපෑමක් කරනවා. ඒ දේවල් එක පැත්තකින් බලපාන කොට ලෝක මූල්‍ය අරමුදල (IMF) එක අපිට බලපෑම් කළා ඩොලරයේ අගය විචලනය වෙන්න දෙන්න කියලා. එතකොට අපේ මහ බැංකුව කළේ සංචිත විකුණලා දාලා ඒක සමනය කරන්න හදපු එකයි. ඒ උණාට අන්තිමට සංචිතත් නෑ ඩොලරයත් රුපියල් 130/= කට වගේ නැගලා. 



ළඟදි ඉඳන් ණය පොලිය සැහෙන ප්‍රමාණයකින් ඉහළ දාන්නත් මහ බැංකුව අනිකුත් බැංකුවලට උපදෙස් දුන්නා. මොකද බැංකු පවා මූල්‍යමය අතින් වැටිලා හිටපු නිසා. ඒත් එක්කම ස්ථාවර තැන්පතු පොලියත් වැඩි කරලා ලොකු ලොකු සල්ලිකාරයන්ට සහනයක් දෙන්නත් රජය අමතක කරලා නෑ.ඒකෙ අතුරු පලයක්‌ විදිහට කොටස් වෙළද පොළෙහි කරපු ආයෝජන අඩුවෙන්නත් පටන් ගත්තා විතරක් නෙවෙයි .... මේ වෙද්දී දරුණු කඩාවැටීමකටත් ලක්වෙලයි තියෙන්නේ. 


අන්තිමට බලාගෙන ගියාම රටේ සාමාන්‍ය ජනතාව තමයි හැම දේකින්ම තැලෙන්නේ. රටේ ඉහළ තනතුරුවල ඉන්න උදවියසොයාබැලීමකින් තොරව ගන්න තීරණවලින් වෙන විපාකවලට අපි වන්දි ගෙවනවා නෙවෙයි ද මේ වෙන්නේ. මම නම් ආර්ථික වීද්‍යාව හදාරලා නෑ, ඒ උණාට මට නිකමට හිතුණ දේවල් ටිකක් ලියන්න ඕන හිතිච්ච නිසයි මේ ලිව්වේ. 


පින්තූරය ගත්තේ මෙතනින් :- http://mohdarafat.files.wordpress.com/2011/08/fuel-price-hike.jpg

ප.ලි.:මෙම ලිපිය කිසියම් පුද්ගලයකුට හෝ ආයතනයකට මඩ ගැසීමක් නොවන අතර මාගේ සංවේගය ප්‍රකාශ කිරීම සඳහා පමණක් ලියන ලදී.

Thursday, March 1, 2012

ෆේස්බුක් හා බැඳුනු තරුණ ජීවිත




ඔන්න අද නම් ලියන්න හිතුවේ,අපේ කෙල්ලෝ කොල්ලෝ මෙන්ම ලෝකෙම ගොඩක් එවුන් දන්න මේ මූණු පොත නැත්නම් ෆේස්බුක් ගැන තමයි.ෆේස්බුක් කියන්නේ මොකක්ද,කොහෙන්ද ආවේ කියල බලලම කතාව පටන් ගමු එහෙනම්. 

2004 දී අපේ මේ මාර්ක් සකර්බර්ග් කියන හාදය ට පහළ වෙච්ච අදහසකට අනුව බිහිවුණ මිතුරු ජාල (සෝෂල් නෙට්වර්කින්) වෙබ් අඩවිය තමයි මේ ෆේස්බුක් කියන්නේ.දැනට මිලියන 850කට වැඩි ක්‍රියාකාරී සාමාජික පිරිසක් ඉන්නවා කියලා තමයි විකිපීඩියා එක නම් කියන්නේ.

තමන්ගේ යාළුවන්ගේ අලුත්ම විස්තර දැනගන්නත්,පරණ යාළුවෝ හමුවෙන්නත්,වෙනත් රටවල ඉන්න යාළුවන්ගේ විස්තර දැනගන්නත් ෆේස්බුක් වලින් වෙන සේවය නම් උපරිමයි.හැබැයි මේ හදන්නේ ෆේස්බුක් එකට කඩේ යන්නවත් ඒකෙ ගුණ වර්ණනා කරන්න නම් නෙවෙයි.ෆේස්බුක් හින්ද වෙලා තියන සාමාජීය වෙනස්කම් හා පිටට නොපෙනෙන අප නොසිතන කරුණු ටිකක් කියන්නයි මේ හදන්නේ.මේ කථාවෙන් කාටවත් පහර ගහන්නවත්,වැරදියි කියනන්වත් මට අවශ්‍ය නෑ. හොඳ නරක ගැන තීරණ ගැනීම කියවන ඔබ අතේ තමයි තියෙන්නේ.සීමාවකින් තොරව කියන්න දේවල් තිබ්බත්,පොඩි දේවල් ටිකක් විතරක් මම දාන්නම් මෙහෙම;

අපේ FB යාළුවො සමහර අය ඉතින් කන බොන, යන එන, කියන කොරන හැමදෙයක්ම තමන්ගේ ස්ටේටස් එකේ දානවනේ. මොනවද කියලා නොකිව්වට ඔයගොල්ලොත් දන්නවනේ මොනවද කියලා.හැබැයි ඉතින් බුකියේ ඉන්න යාළුවො ඔක්කොම අපි දන්න සැබෑම යාළුවො නම් ඉතින් ලොකු අවුලක් නෑ,ඕවා බලලා කට්ටිය හිනා වෙලා හරි ඉඳියිනේ. 

FBකියන්නේ ඉස්කෝලේ යන පොඩි කෙල්ලෝ කොල්ලොන්ගේ ලොකු විලාසිතාවක්නේ දැන්.අනිත් එවුන් හදාගන්නවා දැක්කම තමනුත් හදාගන්නවා එකවුන්ට් එකක්,එකත් ඉතින් ආතල් වැඩේනේ. ඒ විතරක්ද දැන් යාළුවොත් එපායැ අනිත් එවුන්ට වඩා.දැන් ඉතින් ඇඩ් කරගන්නවා දන්න එකයි නොදන්න එකයි ඔක්කොම.... කොල්ලෝ නම් ලස්සන ෆොටෝ තියන කෑලි ටිකක්, කෙල්ලෝ නම් ඉතින් හින්දි නළුවන්ගේ ෆොටෝ දාල තියන එවුන් ටිකක් තමයි ඇඩ් කරගන්නේ.ඊට පස්සේ තමයි හොඳම හරිය, දැන් මේ නොදන්න ඩයල් එක්ක චැට් කරනවා, මෙසේජ් යවනවා .... ටිකක් කල් යද්දී ලව් කරන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ මේ වගේ අය වෙනුවෙන් වියදම් කරනවා,හමුවෙන්න යනවා,ගිහින් කෙලවා ගන්නවා. කොච්චර නම් අපචාර සිද්ධීන් වෙනවද ෆේස්බුක් හරහා.

තවත් ලොකු ප්‍රශ්නයක් තමයි වෙනත් නම් වලින් හදන එකවුන්ට්,ඒකෙන් විවිධ පුද්ගලයන්ට හානිකර දේවල් පතුරුවා හරිනවා මෙන්ම පුද්ගල රැවටීම් ද ගැන තොරතුරු නිතර අහන්න ලැබෙනවා.වෙනත් ආගම්, සංස්කෘතීන් ගැන අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම වගේම දේශපාලන විප්ලව සඳහා පවා අද ෆේස්බුක් පාවිච්චි වෙනවා.

සමහරුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් පුද්ගලයන් සම්බන්ධ කරගන්නත් ෆේස්බුක් භාවිතා වෙනවා, වෙනත් රටවල වගේම අපේ රටෙත්.මේ ගොඩක් දේවල්වල ඉලක්කය වෙන්නේ නව යොවුන් වියේ ඉන්න පාසල් සිසුන්ම තමයි.මගේ මතකයට ආපු දේවල් ටිකක් විතරයි මේ දැම්මේ, තවත් මෙවැනි දේවල් ඕන තරම් ඇති අපිත් නොදන්න.

සීමාවකින් තොරව පිරිස් ෆේස්බුක් එකට එකතු වෙන හින්දා,සමහර වැරදි දේවල්,බොරු පුද්ගල සහිත පුද්ගලයන් හඳුනාගන්න එක ෆේස්බුක් එකටත් ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ.ඔවුන් නිදහසේ එකවුන්ට් එකක් හදාගන්න අවස්ථාව දුන්නට ඒකෙ සීමාවක් දාන්න ක්‍රමයක් ඔවුන් සතු නොවීම මෙවැනි විෂමාචාර දේවල් වැඩි වීමට තවත් හේතුවක් වෙනවා.

ඔබත් ෆේස්බුක් ඉන්නවා නම් හරි හදන්න බලාපොරොත්තු වෙනවා නම් හරි මේවා ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. තව ඔබේ නංගිලා මල්ලිලා ෆේස්බුක් පස්සේ යනවා නම් ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන එක නරකක් වෙන එකක් නෑ.ඒ අය ඇත්තටම ඉගෙන ගන්නවාද පාසල්,පන්ති යනවාද කියන දේත් බලනවා නම් තමයි හොඳ.මොකද අද කාලේ වෙන දේවල් හැටියට මෙවැනි දෙයක ගොදුර අපේ කව්රු හරි වෙන්න බැරි නෑ. 

පින්තූරය ලබාගත්තේ මෙතනින් :-
http://100sfbfans.com/wp-content/uploads/2010/12/buy-facebook-fans-small.jpg


Tuesday, February 21, 2012

මගේ බ්ලොගයට පෙරවදනක්


මම සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගන්න කියල හිත හිත හිටියට ඒක කරන්න උණේම නෑනේ. හදිසියේම සිංහලෙන් ලියන්න වෙච්චි දෙයක් බ්ලොග් එකකට දැම්මොත් මොකද කියල හිතුණා .... ඉතින් දැම්මා පොස්ට් එකක් වින්ඩෝස් 7 ඩීවීඩී එකකින් නැතුව පෙන් එකකින් ස්ථාපනය කරන හැටි ගැන. 

අපි ඉතින් ඒක ගැන කතා නොකර ඇයි මේ සිංහලෙන් ලියන්න හිතුණේ කියල කියමුකෝ.දැනට මාස ගාණකට කලින් අපේ ඔෆීසියේ එකෙක් කිව්වා,මේ බ්ලොග් එක පොඩ්ඩක් බලපන්කො කියලා.වැඩි වැඩකුත් නැති වෙලාවක් හින්දා ඔන්න බැලුවා.

හිස් අහස කියලා තමයි එකේ නම තිබ්බේ, සිංහල බ්ලොග් කියවලා තිබ්බට ඒ වගේ ලස්සන එකක් කියෙව්වෙම එදා තමයි. ඔය ලින්ක් එකෙන් ගිහිල්ලම බලන්නකෝ දන්නේ නැත්නම්. තිබ්බ කථාවලට කොච්චර ආශාවක් ඇති උනාද කිව්වොත් දවස් 5ක් වගේ යද්දී එකේ පොස්ට් එකසිය ගාණම කියෙව්වා. මට අහම්ඹෙන් වගේ හමුඋන හිස් අහස නිසා සිංහලෙන් ලියන්න ආශා හිතුණා.


ඒත් ඉතින් මම සිංහල දන්න තරම මට වැඩිය කව්රු දැන ගන්නද ... ඒ කියන්නේ මට සිංහල බෑ කියන එක තමයි. කොහොම හරි සිංහලෙන් යතුරු ලියනය කරන්න ලේසි ක්‍රමයක් හොයාගත්තා ගූගල් ට පිං සිද්දවෙන්න, ඒ බ්ලොග් වලට කමෙන්ට් දාන්න. ඔය අතර කාලේදී හිස් අහසේ සඳරු, ගැමියාගේ පත් ඉරුව ලියන කොල්ලා වගේ අයත් මුණ ගැහුණා.


සඳරුවා කතා කරපු වෙලාවක මට කිව්වා ... "උඹත් බ්ලොග් එකක් ලියපන්කො" කියලා. ඒ කතාවට වගේම ලස්සන පොස්ට් දාලා සිංහලෙන් ලියන්න මාව පෙළඹවීම ගැන සඳරු මලයාට ස්තුතියි. ඒත් මම වගේ යන්තම් සිංහල ව්‍යාකරණ දන්න එකෙක් බ්ලොග් එකක් ලියලා කියවන අය අපහසුතාවයට පත් කරන්න බැරි නිසා මම ඒ ගැන වැඩිය උනන්දු උණේ නෑ.


ඒත් මේ ඊයේ පෙරේදා දවසක සඳරු අහපු දේකට උත්තරයක්‌ විදිහට තමයි පළවෙනි පොස්ට් එක දැම්මේ.පළවෙනි පොස්ට් එක දැකලා අසරණයා බ්ලොග් එක ලියන සහෝදරයා දිගටම ලියන්න කියලා කමෙන්ට් කරලා තිබ්බා.

දැන් ඉතින් පටන් ගත්ත එකේ ඉඳ හිට හරි පොස්ට් එකක් දමන්නම්. අඩු පාඩු තියෙයි පිරෙන්න ..... බලන අය ඒවාට බැනලා යන්න අමතක කරන්න එපා. එහෙම උණොත් මට ටික ටික හරි බ්ලොග් එකේ වැරදි හදාගන්න පුළුවන් වෙයි.


Monday, February 20, 2012

පෙන් ඩ්‍රයිව් එකක් මගින් වින්ඩෝස් 7 ස්ථාපනය කිරීම

පහත දැක්වෙනුයේ වින්ඩෝස් 7(WINDOWS 7) පෙන් ඩ්‍රයිව් එකක් (PEN DRIVE) මගින් බූට්‌කර (BOOT) ස්ථාපනය කරගැනීමේ ක්‍රමයයි. ඒ සඳහා ඔබට 4GB හෝ ඊට වැඩි පෙන් ඩ්‍රයිව් එකක් සහ වින්ඩෝස් 7 අඩංගු ISO Image එකක් හෝ ඩීවීඩී (DVD) එකක් අවශ්‍ය වෙයි.


1.මුලින්ම ඔබ මේ සඳහා භාවිතා කරන පෙන් ඩ්‍රයිව් එකේ ඇති දත්ත බැක් අප් කරගන්න. ඒ මන්ද යත් මෙහිදී අප ෆෝමැට් (FORMAT) කලාට පසුව ඔබගේ දත්ත සම්පූර්ණයෙන්ම මැකී යනවා පමණක් නොව නැවත රිකවර් (RECOVER) කරගැනීමටත් නොහැකි වන නිසාවෙනි.

2.දැන් ඔබගේ පරිගණකයේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් (Command Prompt) එක ඕපන් කරගන්න.

3.එහි පහත දැක්වෙන විධාන (Commands) පිලිවෙලින් යතුරු ලියනය කරන්න.

4.
DISKPART (DISKPART වෙත පිවිසීම)
LIST DISK (දැනට ඔබගේ පරිගණකයේ ඇති තැටි හා ඒවාට අදාල අංකයන් දිස්වේ. එහි
                    ධාරිතාවය අනුව ඔබේ පෙන් ඩ්‍රයිව් එකට අදාළ ඉලක්කම තෝරාගත හැකි වනු ඇත)
SELECT DISK 2 (ඔබගේ පෙන් එකට අදාල අංකය 2 යැයි උපකල්පනය කරමු)
CLEAN
CREATE PARTITION PRIMARY
SELECT PARTITION 1
ACTIVE
FORMAT FS=NTFS QUICK (මෙහි QUICK යන්න ලබාදීම තුලින් මේ සඳහා වැයවන කාලය                                           ඉතිරි කරගත හැක)                     
ASSIGN
EXIT (DISKPART වලින් ඉවත් වීම)

5. මේ වන විට ඔබ පෙන් ඩ්‍රයිව් එක සකසා ගෙන අවසන්. දැන් ඔබගේ ඩීවීඩී තැටිය හෝ ISO Image එක  මවුන්ට්කර ගන්න.  එවිට ඔබට ලැබෙන ඩ්‍රයිව් එකේ අකුරත් මතක තබාගන්න. උදා: G:

6. මේ වන විට ඔබගේ පෙන් ඩ්‍රයිව් එකට අදාල අකුර F: යැයි උපකල්පනය කරමු.  මෙහි දිස්වන (F/G) අකුර ඔබගේ පරිගණකයේදී වෙනස් අකුරක් විය හැක.

7. දැන් වින්ඩෝස් 7 අඩංගු තැටිය වෙතට මාරුවන්න. කමාන්ඩ් ප්‍රොම්ප්ට් හි (Command Prompt) අදාළ අකුර යතුරු ලියනය කොට;
ඉන් පසු පහත කමාන්ඩ්ස් (Commands) පිලිවෙලින් යතුරු ලියනය කරන්න

G:
cd boot
bootsect /nt60 F: (මෙහි F යනු පෙන් ඩ්‍රයිව් එකට අදාළ අකුරයි)

8. දැන් ඔබගේ ඩීවීඩී හෝ මවුන්ට් කල ISO Image එකෙහි ඇති දත්ත සියල්ල පෙන් ඩ්‍රයිව් එකට කොපිකර ගන්න.

9. දැන් ඔබ සාදාගත් පෙන් ඩ්‍රයිව් එක මගින් පරිගණකයකට වින්ඩෝස් 7 යෙදිය හැක.